නොවැම්බර් 29, 2009

කොට්ටුකච්චිය මෙහෙයුම | Operation Kottukachchi

Posted in Community Work tagged , , , , , at 12:36 පෙ.ව. විසින් e08creations

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ 2008 ශිෂ්‍ය කණ්ඩායම සරසවියට ඇතුළුවුණායින් පස්සෙ කරන්නට යෙදුණු ලොකුම කාර්යය ගැන තමයි අද දවසේ ඔබට කියවන්නට ලැබෙන්නේ. කොට්ටුකච්චිය නවෝද්‍යා මහා විද්‍යාලය, පුත්තලම දිස්ත්‍රික්කයේ තිබෙන තරමක් විශාල, එහෙත් දුෂ්කර පාසලක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නවක වද විරෝධී සිසු කැල විසින් ක්‍රියාත්මක කෙරෙන “ඇසි දිසි” සමාජ සේවා ව්‍යාපෘති මාලාවේ අලුත්ම ව්‍යාපෘතිය ලෙස උක්ත සඳහන් කළ පාසලේ, සාමාන්‍ය පෙළ සිසුන් හට සාමාන්‍ය පෙළ විද්‍යා/ගණිත වැඩමුළුවක් සංවිධානය කෙරුණා.

2009 නොවැම්බර් 21 වැනිදා සෙනසුරාදා දවස මුළුල්ලේ පුත්තලමේ පැවති මෙම වැඩසටහන පිටුපස දැවැන්ත සංවිධානයක් සිදු කෙරුණා. සරසවියට පියමැන මාස 5ක් ගතවන්නටත් මත්තෙන් අප බාරගත් මෙම අභියෝගාත්මක සමාජ සත්කාරය අපේ සංවිධානය යටතේ සිදු වූ තෙවන ව්‍යාපෘතියයි. එහෙත්, මෙය අපගේ කලින් වැඩසටහන් දෙකටම වඩා විශාල සහ වගකීම්සහගත එකක් වූ නිසාවෙන් සහභාගි වූ සැමගේ සිත් තුළ තිබුණේ තරමක චකිතයක්. “ළමයින්ට අපේ වැඩසටහන නීරස වෙයිද?” යන ගැටලුව අපේ සිත් තුළ දැඩිව ක්‍රියාත්මක වුණා.

නමුත් මෙය අභියෝගයක් වශයෙන් බාරගත් අප, අපේ උපරිමය පාසල වෙනුවෙන් ලබාදීමේ පරම ආධ්‍යාශයෙන් යුතුව නොවැම්බර් 20 වැනිදා පේරාදෙණිය සරසවි බිමේ සිට කොට්ටුකච්චිය බලා පිටත්ව ගියා. මින් පෙර පුත්තලම නගරයට වත් ගොසින් තිබුණේ අප අතරින් කිහිප දෙනෙකු පමණයි. කෙසේ හෝ පාර සොයාගෙන අඳුර වැටීමට මත්තෙන් පාසලට ගොඩවැදුණු අපහට එදින රාත්‍රියේ නවාතැන් ගැනීමට ඇවැසි කළමණා වහ වහා සකසාගන්නට සිදු වුණා. සතුටුයි කියන්න, පාසලෙන් අපට ලැබුණේ අති විශාල සහයෝගයක්. එදින රාත්‍රියේ අපගේ ප්‍රධාන ආහාරය වුණේ මඤ්ඤොක්කා! කටට කෙළ උණන තරම් වූ එම රාත්‍රී භෝජනය භුක්ති විඳ අවසන සතුටින් අපි අපේ නවාතැන වූ පන්ති කාමරයට ගොඩ වැදුණා. පසුදිනයට නියමිත රාජකාරියට අපි එහිදී හොඳින් සූදානම් වූවා. ළමුන් හට දීම පිණිස අප නිර්මාණය කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර තියුණු ලෙස විමර්ශනය කළ අප ළමුන්ට ගැටලු ඇතිවන ස්ථාන පිළිබඳ පුළුල් විමර්ශනයක් කළා. මෙම කාර්යය අප සති කිහිපයක් තිස්සේම සිදුකළ අතර අවසාන ඇගැයීම කෙරුණේ මෙම අවස්ථාවේදී බව සඳහන් කළ යුතුයි. අවසානයේදී ඉතා අවම පහසුකම් මධ්‍යයේ රාත්‍රී නින්දට ගිය අප පසුදින උදෑසනින්ම “කොට්ටුකච්චිය මෙහෙයුම” ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුතුව උද්‍යෝගයෙන් අවදි වුණා.

උදෑසන 6.30 වෙද්දී ළමුන් එකිනෙකා පාසල වෙත ඇදී ඒමට පටන් ගත්තා. 7.30 වන විට අපට දක්නට ලැබුණේ පාසල් පරිශ්‍රය එකම හිස් ගොඩක් විලසින්! එලෙස ඇරඹුණු අපේ වැඩසටහනට ජවසම්පන්න ආරම්භයක් ලබාදීමට කොට්ටුකච්චිය විද්‍යාලයේ විදුහල්පතිතුමා කටයුතු කළා. ළමුන්ගේ මට්ටම ඇගැයීමේ අරමුණින් අප සකස්කළ පැය එකක ගණිත ප්‍රශ්න පත්‍රය අනතුරුව බෙදාදෙනු ලැබුවා. එම කාලය අවසන් වීමත් සමඟ කල් නොයවා අප සොයුරන් ගණිතය විෂයෙන් වැඩමුළුව ආරම්භ කළා. ඒ අතර වහ වහා ප්‍රශ්න පත්‍ර සලකුණු කළ අනෙකුත් සොයුරන්, කාර්යය වඩාත් පහසු කරනු පිණිස සිසුන් ඔවුනගේ දක්ෂතාවය අනුව වර්ගීකරණය කළා. එම වර්ගීකරණයට ලක්කළ පරිද්දෙන් පන්ති වලට සිසුන් වෙන්කර පැය ගණනාවක් මුළුල්ලේ සිසුන් එකිනෙකාගේ දුර්වලතා මඟහරවා, දක්ෂතා ඔප්නැංවීමට දැඩි වෙහෙසක් අප කණ්ඩායම විසින් ගනු ලැබුවා. 10%ක් තරම් සිසු සිසුවියන් සංඛ්‍යාවක් ඉතා හොඳ නිපුණතා මට්ටමක සිටි අතර 55%කට අධික පිරිසක් බෙහෙවින් දුර්වල තත්ත්වයක සිටින බව අප නිරීක්ෂණය කළා. ඔවුනගේ මට්ටම සළකා බලා ඒ ඒ කණ්ඩායමට ගැළෙපෙන අයුරින් මෙම වැඩසටහස සංවිධානය කිරීමේ වැදගත්කම අපට මෙහිදී මොනවට පැහැදිලි වුණා.

අනතුරුව, සවස් යාමයේදී ඔවුනට නවතම අත්දැකීමක් ලබාදීමට අප කටයුතු කළා. සිසුන් සියල්ල පස්දෙනා බැගින් කණ්ඩායම් කළ අපි ඔවුන් අතර දැනුම මිනුම තරඟයක් ක්‍රියාත්මක කළා. ජීවිතයේ කිසි දිනෙක දැනුම මිනුම තරඟයකට මුහුණ නොදී තිබුණු ඔවුන් උද්‍යෝගිමත්ව එහිදී තරඟ වැදෙනු අපට දැකගන්නට ලැබුණා. තරඟය අවසානයේ ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානයක් ද සංවිධානය කෙරුණා. අපගේ දීර්ඝ වැඩසටහනේ අවසාන අංගය වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අපූර්වත්වය ගැන කෙටි හැඳින්වීමක්. පේරාවේ සුන්දරත්වය, අප විසින් කැමරා කාචයේ සටහන් කරගත් රූප රාමු ඇසුරින් අලංකාරව සිසුනට විදහා පෙන්වූවා (කොහොම වුණත් ඒ මනෝහර සුන්දරත්වය කෙළෙසන පාපිෂ්ඨයන් අතළොස්සකගේ අමන නවක වදය ගැන වචනයක් වත් සඳහන් නොකරන්නට අප වගබලාගත් බව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ ;) ). මේ වනවිට වෙලාව සවස 5ත් පහු වෙලා. පැය 9කට අධික කාලයක් ඉතා සංයමයෙන් වැඩසටහනට සක්‍රීය ලෙස සහභාගි වූ කොට්ටුකච්චියේ ආදරණීය සොයුරු සොයුරියන් පිරිස අපේ වැඩසටහන ආලෝකමත් කළා. ඔවුනගේ මුහුණු සැබැවින්ම අපගේ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බඳුයි. අපූරුවට වචන ගළපා ඔවුන් අපහට ලියා දුන් සමරු සටහන් රැස, අප ඔවුන් හට ඉතිරි කර ගියේ දැනුම පමණක් නොවන බව සනාථ කළා. ඔවුනගේ උණුසුම් සමුදීම හමුවේ අප මඳකට නිහඬ වුණා. අවසාන මොහොත වනවිට ඔවුන් සැමගේ මුවින් ගිලිහුණේ එකම වදන් පෙළක් පමණයි. ඒ තමයි, “අනේ අයියේ, ආපහු සැරයක්, අපිව බලන්න එන්න…”. සැබැවින්ම හැඟුම්බර එම අවසානය අප හදවත් තුළ නොමැකෙන සටහනක් ඉතිරි කළා. ඒ සටහන අප ජීවිත කාලය පුරාවට අප හැඟුමන් නින්නාද කරනු නොඅනුමානයි….

ප.ලි. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අප හට දැවැන්ත සහයෝගයක් ලබා දුන් කොට්ටුකච්චිය නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අපගේ බැතිබර ප්‍රණාමය…

ප්‍රතිචාර 2 »

  1. සරා said,

    හොද වැඩක්,
    බ්ලොග් එකේ theme පුලුවන් නම් වෙනස් කරන්න.

  2. [...] නවෝද්‍යා මහා විද්‍යාලයේ අප මීට කලින් පැවැත්වූ සම්මන්ත්‍රණයේ අත්දැකීම් තිබුණු නිසා, වැඩසටහනේ [...]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.