ජනවාරි 8, 2010

අපේ සිරිපා වන්දනාව

Posted in Trips tagged , , , , at 10:14 ප.ව. විසින් e08creations

ආයුබෝවන් වර්ෂ 2010!! සාර්ථක නව වසරක නැවුම් බලාපොරොත්තු සමඟින් අපේ කට්ටිය ආයෙත් සෙට් වුණේ අලුත් ට්‍රිප් එකක් යන්න. මේ සැරේ අපේ ඉලක්කය වුණේ ශ්‍රීපාද අඩවිය. ට්‍රිප් එකක අදහස නිරන්තරයෙන්ම අප සිත් තුළ හටගත්තත් ඒවා නැවත නැවතත් පසුපසට ගියේ පසුගිය සමාසිකය තුළ අපි සමාජ සේවා කටයුතු කිහිපයකටම සම්බන්ධ වුණු නිසයි.

ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සහ අවට ප්‍රදේශය නැරඹීමේ අරමුණින් අපි සංවිධානය කරගත් චාරිකාව 2010 ජනවාරි 4 වැනිදාට යොදාගත්තේ ඒක අපේ නිවාඩු කාලය වුණු නිසයි. අනික සිරිපා වන්දනා සමයේ ආරම්භක දින කිහිපය නිසා ඉතා පහසුවෙන්, නිදහසේ අපේ ගමනාන්තයට ළඟ වීමේ හැකියාවක් තියෙයි කියන බලාපොරොත්තුවත් අප සිත් තුළ තිබුණා.

ජනවාරි 4 වැනිදා උදේ 7.30ට විතර අපි ඔක්කොම මහනුවර දුම්රිය ස්ථානයට එක් රොක් වෙලා උදේ 8.20 බදුල්ල දුම්රියෙන් හැටන් දක්වා ගමන ඇරඹුවා. සමහරු මෙම ගමනට සහභාගි වුණේ බොහෝඅ ඈත පළාත් වල ගම්බිම් වලට ගොස් නැවත පැමිණයි! හිටගෙන යන්න වුණත් ඒ ගමන බොහොම ප්‍රීතිමත් එකක් වුණා. අවට තිබුණු සුන්දරත්වය අපි හැමෝම ඉතා ආශාවෙන් නැරඹුවා.

කෝච්චියෙන් ගිහින් හැටන් වලට ගොඩබැහැපු අපේ ඊළඟ ඉලක්කය වුණේ මස්කෙළිය නගරය. එතන තමයි අපේ නවාතැන්පොළ වුණු මස්කෙළිය ලංකා බැංකු ශාඛා නිල නිවෙස්නය පිහිටා තිබුණේ. මෙම ස්ථානය සොයා දීමේ සම්පූර්ණ ගෞරවය අපේ අරවින්ද වෑත්තෑව සොයුරාට හිමිවිය යුතුයි. තවත් පැයක විතර ගමනකින් පස්සෙ අපි මස්කෙළියට ළඟා වෙලා දවල් ආහාරය ගත්තා. නල්ලතන්නියට යන්න තවත් කාලය තිබුණු නිසා අපි අවට සිරි නැරඹීමේ අරමුණින් මාඋස්සාකැලේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට පිටත්ව ගියා.

පැයක් හමාරක් එය නැරඹීමෙන් අනතුරුව අපි නැවතත් මස්කෙළිය බලා ආවා. අවසානයේ රාත්‍රී ආහාරයෙන් ද සප්පායම් වීමෙන් අනතුරුව (මේක නම් කාලෙකට මතක හිටින කෑමක් බව නොකියාම බැහැ. හේතුව මෙතන කියන එක අනවශ්‍යයි කියා හිතනවා ;) ) රාත්‍රී 7.30ට විතර නල්ලතන්නිය බලා පිටත්ව ගියා.

තවත් පැයක් පමණ නල්ලතන්නිය, සමනොළ ගිර පාමුල ගතකිරීමෙන් අනතුරුව රාත්‍රී 10ට පමණ අපි සිරිපා තරණය ආරම්භ කළා. අතිශයින්ම වෙහෙසකර වුවත් ඉතා විශිෂ්ට අත්දැකීමක ආරම්භය එය බව අප දැන සිටියා. සිරිපා මළුවේ අතිශය සිසිල් පරිසරයක පැය ගණනක් රැඳී ඉන්නට අවශ්‍ය නොවුණු නිසා අපි සිරිපා කරුණා කළේ ඉතා සෙමින්. සිරිපා මළුවට අපි එන විට වෙලාව හරියටම පාන්දර 3යි. සීතල දරාගැනීම ඉතා අපහසු වුණත් අපේ උත්සාහයේ සාර්ථකත්වය නිසා ඇතිවූ ප්‍රීතිය අප උණුසුම් කළා. වරක් ශ්‍රීපාද පද්මය වැඳ පුදාගත් අපි කෙටි විවේකයක් ලැබීම පිණිස දෑස් පියාගත්ත. නැවතත් උදේ 5ට පමණ අවදි වී ඉර සේවය නැරඹීමෙන් අනතුරුව නැවතත් පහළට එන ගමන ආරම්භ කළේ උදේ උදේ 7ට පමණ.

මුලින් එතරම් නොදැනුණත් පහළට බැසීමත් දෙපා වලට ඉතා වේදනාකර කර්තව්‍යයක් වුණා. නමුත් ඒ වේදනාව නිවාලන ඖෂධය වූයේ ඉහළට නගින අවස්ථාවේ අප නොදුටු අවට පරිසරයේ සුන්දරත්වයයි. ශ්‍රී ලංකාව තුළ අප දුටු අලංකාරම දසුන් පෙළ අප දුටුවේ මේ ගමනේදී බවට අපහට කිසිදු සැකයක් වූයේ නැහැ.

උදේ 11 පමණ වන විට පහළට පැමිණි අප නැවතත් මස්කෙළිය අපේ නිවෙස්නය වෙත පැමිණියේ ඉතාමත් වෙහෙසකර වූත් ආශ්චර්යජනක වූත් ගමනකින් අනතුරුවයි. එම ස්ථානයේ මඳ වේලාවක් ගිමන් හැරීමෙන් අනතුරුව අපි මහනුවර බලා ආපසු පැමිණීමට පිටත් වුණා. මහනුවරට අප ළඟා වනවිට වේලාව සවස 6යි.

ඔන්න ඔහොමයි අපේ සිරිපා වන්දනාවේ කථාන්දරය! අප බොහෝ දෙනා ජීවිතයේ යෙදුණු විශිෂ්ටතම චාරිකාව එය බවට කිසිදු සැකයක් නැහැ. වෙහෙස, මහන්සිය, වීර්යය හා බැඳුණු ස්වභාව සෞන්දර්යය, මනස්කාන්ත පරිසරය අප සිත් ප්‍රීතියෙන් කුල්මත් කළා.

නව වසරට එය ඉතා හොඳ ආරම්භයක් වූ බව නම් නිසැකයි. ජය ශ්‍රී!

මේ තිබෙන්නේ ගමනේදී අප අත්දුටු සුන්දරත්වයෙන් බිඳක්:

Follow

Get every new post delivered to your Inbox.