මාර්තු 5, 2010

Cric-E කුසලානය E/08 කණ්ඩායමට

Posted in Events tagged , , , , at 11:43 ප.ව. විසින් e08creations

මේ කියන්න යන්නේ සරසවියට ආවාට පසු, කණ්ඩායමක් විදිහට අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය ගැනයි. ඒ තමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන Cric-E අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණය! මෙවර එම කුසලානයේ සාඩම්බර හිමිකරුවන් වූයේ 2008 සිසු කැළ වන අපයි. මේ තරඟාවලිය පැවැත්වුණේ පසුගිය පෙබරවාරි වන 20, 21 දිනවලයි. ඒ ගැන සටහනක් තබන්න මේ තරම් පරක්කු වුණේ පසුගිය දවස් ගණන පුරාවටම අපට යෙදී තිබුණු ව්‍යාපෘති සහ විභාග හේතුවෙනුයි. පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමක් විසින් මේ කුසලානය දිනාගන්නට යෙදුණු පළමු අවස්ථාව මේකයි. ඒ නිසා මේ ජයග්‍රහණය ඉතිහාසගත එකක්! :-)

මෙහිදී අප සමඟ තරඟ වැදුණු කණ්ඩායම් ගණන 4ක්. E/04, E/05, E/06, E/07 යන කණ්ඩායම් සියල්ල සමඟ තරඟ කොට ජයගන්නට මෙහිදී අප සමත් වුණා. තරඟාවලියේ මුල් කොටස පැවැත්වුණේ ලීග් ක්‍රමයට. එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරඟ වැදුණා. අපේ මුල්ම තරඟය පැවැත්වුණේ E/07 කණ්ඩායම සමඟයි. එහි ප්‍රතිඵලය වූයේ අනපේක්ෂිත වගේම දැවැන්ත පරාජයක්. අපේ මුළු කණ්ඩායමම තරඟයට නියමිත පන්දු වාර 8 තුළ දවාගන්නට E/07 කණ්ඩායමේ සොයුරන් සමත් වුණා. එහිදී අප ලබාගත් ලකුණු 37, Cric-E ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛාව බව ලැජ්ජාවෙන් වුවත් පැවසිය යුතුයි. :-( මේ තරඟය අවසානයේ අපේ දුර්වල ක්‍රීඩා විලාශය විස්තර විචාරක අට්ටාලයේ නොමඳ හාස්‍යයට ලක් වුණා. නමුත් තමන්ට වැරදුණු බව ඔවුන්ට පසක් වුණේ මීළඟ තරඟ 3ම අප පිට පිට ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මේ තරඟ ජයග්‍රහණය කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිටියා. ඔවුන් අතර පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ චින්තක අත්තනායක හෙවත් ‘සිඩෑන්’, ධනුෂ්ක රාජපක්ෂ හා රොෂාන් ආරියරත්නත්, ඉතා අවම ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් ඔවුන් දැඩි පීඩනයට ලක්කළ අරවින්ද වෑත්තෑවත් සිහිපත් කළ යුතුමයි. මෙම තරඟ තුනෙන් E/04 කණ්ඩායම සමඟ තරඟය එක් අතකින් විශේෂයි.

එහිදී ඔවුන් එක් අවස්ථාවක පළමුව පන්දුවට පහරදී ඕවර 7ක් තුළ ලකුණු 25 ක් ලබා එක් කඩුල්ලක් පමණක් අතැතිව දැඩි අපහසුතාවකට ලක්ව සිටියා. තරඟය පන්දුවාර 8කින් පමණක් සමන්විත වූ නිසා අප ලැබූ අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඔවුන් ලවා බිඳහෙළවන්නට අප බලාපොරොත්තු වුණා. නමුත් 8 වන පන්දු ඕවරය අවසානයේ අපට දක්නට ලැබුණේ සහමුලින්ම වෙනස් ලකුණු පුවරුවක්. ඒ අනුව ඔවුන් ලකුණු 47ක් ලබා සිටියා. ඒ දැවැන්ත පන්දු ඕවරයේ හිමිකරුවා කවුද? ;-) කෙසේ වෙතත් ඒ අවසථාවේ හුදකලා සටනක නිරත වෙමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක කුලරත්න සොයුරාත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අරවින්ද වෑත්තෑව සොයුරා පන්දුවාර දෙකක් තුළ ලකුණු දෙකක් පමණක් ලබාදී කඩුළු 2ක් දවාගත්තේ මේ තරඟයේදී බවත් සටහන් කිරීම වටිනවා.

මේ අනුව ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පළමු පරාජයේ අළු ගසා දමමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබූ අපට නැවතත් මුණගැසුණේ පළමු තරඟයේ අප පරාජය කළ E/07 කණ්ඩායමයි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් අප පන්දු ඕවර 10ක් අවසානයේ කඩුළු 4කට ලකුණු 80ක් ලබාගත්තා. මෙහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ චින්තක අත්තනායක, අවසාන මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටිමින්, ඉතා අලංකාර කවර් ඩ්‍රයිව් පහරවලින් පිටිය වර්ණවත් කරමින් ලකුණු 31කින් කණ්ඩායම ශක්තිමත් කළා.

ඉන් අනතුරුව දෙවනුව පන්දුවට පහරදුන් E/07 කණ්ඩායම ද ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වෙමින් තරඟය උද්වේගකර අවසානයක් දක්වා ගෙන ආවා. නමුත් අවසාන පන්දුවාර 3න් දෙකක් යවමින් ඉතා අවම ලකුණු ගණනක් පිරිනමමින් කඩුළු 2ක් දවාගත් චින්තක අත්තනායක නිසා E/07 කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 6ක් පසුපසින් නවතින්නට සිදු වුණා. අවසානයේ ලකුණු පුවරුව දිස් වූයේ E/07 කණ්ඩායම පන්දුවාර 10 තුළ සියලුදෙනා දැවී ලකුණු 74ක් වශයෙන්. එය අපගේ අනභිභවනීය ජග්‍රහණය සටහන් කළා. සෑම දෙනා තුළම දක්නට ලැබුණේ නිම් හිම් නැති සතුටක්. එය සැබැවින්ම කණ්ඩායමේ එකමුතුකමේත්, චින්තක පෙන්වූ විශිෂ්ට දක්ෂතාවන්හිත් ප්‍රතිමූර්තියක් බඳුයි. අවසානයේ එදින වැඩිපුරම කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූ චින්තකට තරඟාවලියේ වීරයා සම්මානය හිමි වුණා. එසේම අවසන් තරඟයේදී උඩපන්දුවක් රැකගැනීමට දැරූ උත්සාහයකදී දැඩි ආබාධයකට ලක්ව සිටියත් පන්දුවාර 2ක් යවමින් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට ඔහු ක්‍රියා කළ බව හෘදයාංගමව සිහිපත් කළ යුතුයි. ඒ සමඟම, තරඟාවලිය පුරා ඉතා උද්‍යෝගිමත්ව, එකාවන්ව තරඟ වැදුණු අප කණ්ඩායමේ එකමුතු බවත් මේ අවස්ථාවේ අමතක නොකරම බැහැ. ජය ජය E/08….

ජයග්‍රාහී E/08 කණ්ඩායම:

  • චින්තක අත්තනායක
  • රොෂාන් ආරියරත්න
  • ධනුෂ්ක රාජපක්ෂ
  • අරවින්ද වෑත්තෑව
  • ඉරූෂ පාලවත්ත
  • කල්හාර ජයසිංහ
  • ගිහාන් එදිරිසිංහ (wk)
  • චමිත රත්නායක
  • ගයාන් කෞෂල්‍ය
  • කවින්ද කරුණාධිපති
  • නිරෝෂන් යාපාරත්න
  • අශාන් ඉමන්ත බණ්ඩාර (පළමු අතිරේක ක්‍රීඩක)
  • කුෂාන් වීරසේකර (භෞතචිකිත්සක)

තරඟ දත්ත:

:: E/08 Vs. E/07 ::

E/08 : 37/10 (පන්දුවාර 7.1 )
E/07 : 38/4 (පන්දුවාර 5.3)
E/08 කණ්ඩායමට කඩුළු 6ක පරාජයක්

:: E/08 Vs. E/04 ::

E/04 : 46/7 (පන්දුවාර 8 )
ධනුෂ්ක කුලරත්න 23*
E/08 : 47/2 (පන්දුවාර 5.4)
E/08 won by 8 කණ්ඩායමට කඩුළු 8ක ජයක්

:: E/08 Vs. E/06 ::

E/06: 53/6 (පන්දුවාර 8 )
E/08: 54/2 (පන්දුවාර 6.4 )
E/08 කණ්ඩායමට කඩුළු 8ක ජයක්

:: E/08 Vs. E/05 ::

E/05: 58/8 (පන්දුවාර 8 )
E/08: 59/3 (පන්දුවාර 7.2)
E/08 කණ්ඩායමට කඩුළු 7ක ජයක්

==අවසන් මහා තරඟය==
:: E/08 Vs. E/07 ::

E/08: 80/4 (පන්දුවාර 10)
චින්තක අත්තනායක 31
ඉරූෂ පාලවත්ත 16*
E/07: 74/10 (පන්දුවාර 10)
E/08 කණ්ඩායමට ලකුණු 6ක ජයක්

තරඟාවලියේ වීරයා : චින්තක අත්තනායක (ලකුණු 91ක් කඩුළු 6ක් සමඟ උඩ පන්දු 6ක්)

ස්ථානය: රාහුල විදුහල් ක්‍රීඩාංගනය, කටුගස්තොට

දසුන්:

ජයග්‍රහණයේ සතුට

විස්තර විචාරක අට්ටාලය

තරඟය අතරතුර


අනුශූර E/07 කණ්ඩායම


ලකුණු සටහන්කරණය

තරඟාවලියේ වීරයා - චින්තක අත්තනායක

ඔක්තෝබර් 10, 2009

අපේ Welcome එක!

Posted in Events tagged , , , , at 1:09 පෙ.ව. විසින් e08creations

2009 සැප්තැම්බර් 26 වෙනිදා අපේ සරසවි ජීවිතයේ තවත් වැදගත් දවසක් වුණා. ඒ වෙන මොකක් වත් නිසා නෙවෙයි, එදා තමයි අපේ ජ්‍යෙෂ්ඨ සොයුරන් අලංකාර පිළිගැනීමේ සාදයක් එක්ක අපව පිළිගත්තේ! එදා වෙච්ච සිදුවීම් ගොඩයි. ඒ හැම එකක්ම මතක් කරන විටත් දැනෙන්නෙ සතුටක්. විචිත්‍රවත් බව, උද්වේගකර බව, හාස්‍යය, නොඅඩුව එම රාත්‍රියේ ගැබ් වී තිබුණා. තවද අපේ සහ ජ්‍යෙෂ්ඨ සොයුරන්ගෙ දක්ෂතා වලින්, එම රාත්‍රිය වර්ණවත් වුණා.

කට්ටියගෙ හැඩ වැඩ ගැනත් කියලම වැඩක් නෑ :D මේ වෙනදා දකින සෙට් එකමද කියල අඳුරගන්න දෙපාරකට වඩා බලන්න සිද්ධ වුණා. ඒ කොහොමද කියල මේ තියන පින්තූර වලින්ම බලාගන්න පුලුවන්.

එදා රාත්‍රියේ වැඩසටහන ආරම්භ වුණේ අපේ ගීත කිහිපයකින්. ඊට පස්සෙ තිබුණෙ තවත් වැදගත් අංගයක්. ඒ තමයි අපේ සහ E/07 සොයුරන්ගෙ කෙටි චිත්‍රපට වල එළිදැක්ම! අපි නිෂ්පාදනය කරපු කෙටි නාට්‍යය/චිත්‍රපටය ගැන පස්සෙ දීර්ඝ වශයෙන් කියන්නම්. එතකන් කියන්න පුලුවන් මෙපමණයි. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨයට ආපු ගමන්, welcome එකට කලින් සෑම නවක ශිෂ්‍ය පිරිසක්ම අතගහන කාර්යයක් තමයි යම් තේමාවක් අළලා නාට්‍යයක් නිෂ්පාදනය කිරීම. ඉතින් අපිත් එකක් කළා කියමුකො ;) ඒක තමයි අපි එදා රාත්‍රියේ එළිදැක්වූවේ. ඒ සමඟම E/07 නාට්‍යයත් එළිදැක්වුණා. විශිෂ්ට ප්‍රතිචාර සමඟින් ඒ කර්තව්‍යයත් අවසන් වුණා. ප්‍රතිචාර කොච්චරද කියනවා නම් ප්‍රධාන නළු නිළියන්ට පාරෙ බැහැලා යන්නත් අමාරුයි. කොහොමද ඉල්ලුම? ;)

මීළඟට තිබ්බෙ විනෝද ක්‍රියාකාරකම්. අපේ welcome එකට ආපු වෛද්‍ය සහ විද්‍යා පීඨ වල සිසුන් එක්ක එකමුතු වෙන්න මේක අපූරු අවස්ථාවක් වුණා. ඊට පස්සෙ කෑම. ඒක ගැන ආයෙ ඉතින් අහන්නත් දෙයක් නෑ නේ?

එතනින් පස්සෙ තමයි ඒ රාත්‍රියේ විනෝදජනකම අවස්ථාව. අපි හැමෝම උපරිම විදියට නටා ගයා ප්‍රීති වුණා. පට්ට!

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය පිළිගැනීමක් වූ එය ලබාදුන්න E/07 ආදරණීය සොයුරු සොයුරියන්ට අපේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්න වෙලාවයි මේ!

අයියේ, අක්කේ, ඔබ අප හදවත් සතුටින් කුල්මත් කළ ඒ අවස්ථාව අපේ ජීවිත වල වෙනසක් ඇතිකළා. කලිනුත් හැඟුණු ඔබේ අකලංක, අව්‍යාජ ආදරය, සෙනෙහස අපිට එදා උපරිමයෙන් ම දැනුණා. ඒ විතරක් නොවෙයි, අපිට හරිම ආඩම්බරයි ඔබ ගැන. ඒ මොකද අපි දන්නවා බහුතරයක් ඔබේ සමකාලීනයන් අපේ සොයුරු සොයුරියන් පිළිගත් සහ පිළිගන්න ආකාරය! ඉදින් එවන් වටපිටාවක් තුළ, කිසිදු කායික මානසික පීඩාවකින් තොරව අප පිළිගන්නට ඔබට තිබූ උවමනාව අපිට අභිමානයක්! අප මෙන්ම මුළු රටම ඔබට ණයගැතියි. අද අපි සරසවිය තුළ උපරිම නිදහස විඳින්නේ ඔබෙන් ලැබුණු පන්නරය නිසා නොවේ නම් වෙන කොහොමද? ඔබ නොවන්නට අපිත් අද, ඇතැමුන් මෙන් කොඳුඇටපෙළ බිඳී ගිය පිරිසක් ලෙස හැසිරෙන්නට ඉඩ තිබුණා. නමුත් අපි අදත් කෙළින්, හෙටත් කෙළින්! ඒ ඍජු බව, ප්‍රබලත්වය, වැරැද්දට හිස නොනමන බව, අප තුළ හැමදාටම ඉතිරි වෙයි. ඒ පමණක් නොවෙයි, මේ උතුම් සම්ප්‍රදාය ඉදිරියටත් ගෙනයාමට අපි ඉතා වගකීමෙන් සහ උනන්දුවෙන් අධිෂ්ඨාන කරගන්නවා. ඒ වෙනුවෙන් ඕනෙම කැපකිරීමක් කරන්නත් අපි සූදානම්!

ඉතින් එහෙනම් සමුගන්නට අවසර. සමුගන්නට පෙර, එදා අප බලන්නට නෑගම් ආ (වචනෙ හරිද මන්දා ;) ) අනෙක් පීඨ වලත් සියලුම සොයුරු සොයුරියන් ආදරයෙන් සිහිපත් කරනවා.

Follow

Get every new post delivered to your Inbox.