අප්‍රේල් 13, 2010

අලුත් අවුරුද්දට තවත් එක් සුබ පැතුමක්!

Posted in Uncategorized tagged at 2:35 ප.ව. විසින් e08creations

ඔන්න එහෙනම් එළඹෙන සිංහල හා හින්දු නව වසරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් සුබ පැතුම්…!!! පහුගිය කාලය තුළ අප ඉගෙනගන්න ඉංජිනේරු පීඨය තුළ පැවැත්වුණු විශේෂ උත්සව සහ අවස්ථා ගැන ලිපි කිහිපයක්ම ලියන්නට නියමිතව තිබුණත් පසුගිය කාලය තුළ තිබ්බ අධික කාර්ය බහුල බව නිසා ලියන්නට වෙලාවක් ලැබුණේම නැහැ. ඒ නිසා ඒ ගැන ලිවීම අනාගතයට ඉතිරි කරමින් ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම බතින් බුලතින් සපිරි, සාමය සතුට, සෞභාග්‍යය රජයන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි පතනවා..!! ඒ එක්කම අපේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල දමිළ සියලුම සොයුරු සොයුරියනුත් අමතක කරන්නට බැහැ. ඔවුන්ටත් සාමය, සතුට, A+ සපිරි, කරදර අඩු, fun එක වැඩි, ජයග්‍රාහී සුබ නව වසරක් වේවා යැයි E/08 කණ්ඩායම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා..!! 😀

Advertisements

මාර්තු 6, 2010

අපේ තවත් සමාජ සත්කාරයක්

Posted in Community Work tagged , , , , , at 10:29 ප.ව. විසින් e08creations

දෙවන සාමාසිකයේ අපි කරන්නට යෙදුණු මුල්ම සමාජ සත්කාරය ගැනයි මේ කෙටි සටහන. ඒ තමයි මැල්සිරිපුර, පන්සියගම මහා විද්‍යාලයේ අප පැවැත්වූ සාමාන්‍ය පෙළ විද්‍යා සම්මන්ත්‍රණය… අප මේ වැඩසටහන පැවැත්වුණේ පහුගිය මාසෙ 28 වැනි ඉරිදා දිනයි. පෝය දවසක් වීමත්, ඉරිදා නිවාඩුවත් නොතකා එම පාසලේ සියලුම සාමාන්‍ය පෙළ ළමුන් එදින පැමිණ සිටියා අපේ පැමිණීම උදක්ම බලාපොරොත්තුවෙන්. මේ සම්මන්ත්‍රණය පවත්වන්නට අපට සිද්ධ වුණේ අභියෝග කිහිපයක් මැදයි.

ඊට හේතුව වුණේ පහුවැනිදා, එනම් මාර්තු පළමුවැනිදාට අපේ මධ්‍ය සමාසික පරීක්ෂණය (Mid Semester Examination) යෙදී තිබීමයි. එම විභාගයේ දිනය දැනුම්දෙනු ලැබුවේ අප මෙම වැඩසටහන මෙදිනට යොදාගත්තාට පසුවයි. පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සියලු කළමණා ලැහැස්තිකළ පසුව වැඩසටහන කල් දැමීමට අපට සිත් නොදුන් නිසා කුමන අපහසුතා මැද වුවත් එය කරන්නට අපි තීරණය කළා. ඒ අනුව ඉරිදා උදෙන්ම ගමන පිටත්වුණු අපි උදෑසන 7 වන විට පාසලට ළඟා වුණා. පුත්තලම, කොට්ටුකච්චිය නවෝද්‍යා මහා විද්‍යාලයේ අප මීට කලින් පැවැත්වූ සම්මන්ත්‍රණයේ අත්දැකීම් තිබුණු නිසා, වැඩසටහනේ කටයුතු කළමණාකරණය කරගැනීම එතරම් අපහසු වුණේ නැහැ. එම වැඩසටහනේ ආකෘතියට අනුව පැවැත්වූ මෙහි වෙනසකට වූයේ මෙය විද්‍යා විෂයන් මූලික කොටගත් සම්මන්ත්‍රණයක් වීම පමණයි.

උදෑසන 7.30 සිට සවස 5.00 පමණ වනතුරු එක දිගට, අපට එම සිසුන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිමය ලබාදුන්නා. ඒ තරම් දිගු කාලයක්, කළබලකාරී යෞවනයන් පිරිසක අවධානය රඳවා තබාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් කෙසේ හෝ එය සාර්ථකව කරන්නට අප සමත් වූ බව සිසුන්ගේ ප්‍රතිචාර වලින් පෙනුණා. සමස්ත වැඩසටහන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයා එය පරීක්ෂා කර එය සිසු සිසුවියන් සමඟ සාකච්ඡා කිරීමේ අදියරකිනුත්, දේශනයකිනුත්, වෙනත් ගැටලු සාකච්ඡා කිරීමටත්, දැනුම උරගාබැලෙන ප්‍රශ්න විචාරාත්මක තරඟයකින් අනතුරුව ත්‍යාග ප්‍රදානයකිනුත් සමන්විත වුණා. අවසානයේ ළමුන් දිරිමත් කිරීම පිණිස සරසවි දිවියෙන් බිඳක් ඔවුන් සමඟ බෙදාහදා ගැනීමටත් අප අමතක කළේ නැහැ. වැඩසටහනේ මූලික අරමුණ වූයේත් එයයි. මන්ද සාමාන්‍ය ගුරුවරයෙකුගෙන් ලැබෙන විෂය කරුණු පිළිබඳ දැනුම අප එහි ගොස් නැවත ඔවුන්ට ලබාදීමේ තේරුමක් නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ගැටලු පෞද්ගලිකව විසඳා දී සිසුන්ට නවමු ආකාරයේ අත්දැකීමක් ලබාදීම අපේ අරමුණ වුණා. එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය බලාගත යුත්තේ ඔවුන්ගේ මුහුණු සහ අදහස් තුළිනුයි.

එසේ නම් මේ ඒ ගැන පසු විපරමක්:

අභියෝගයක ඇරඹුම

අලංකෘත පරිසරය

වැඩසටහන අතරතුර

ඔවදන්

පිළිතුරු සැපයීම

පිළිතුරු පත්‍ර සළකුණු කිරීම

කෙටි විවේකයක්

ගුරු භවතුන් වූ අපි

සිසුන් ගුරුවරුන් කරමින්

දැනුම විමසුම

තුති පිදුම

පුංචි හදවත්වල සතුට

ඔවුහු අපෙන් ගුරුහරුකම් ලද්දෝය

අවසානය

මතකයන්

සැබෑ ජයග්‍රහණය

මාර්තු 5, 2010

Cric-E කුසලානය E/08 කණ්ඩායමට

Posted in Events tagged , , , , at 11:43 ප.ව. විසින් e08creations

මේ කියන්න යන්නේ සරසවියට ආවාට පසු, කණ්ඩායමක් විදිහට අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය ගැනයි. ඒ තමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන Cric-E අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලි ජයග්‍රහණය! මෙවර එම කුසලානයේ සාඩම්බර හිමිකරුවන් වූයේ 2008 සිසු කැළ වන අපයි. මේ තරඟාවලිය පැවැත්වුණේ පසුගිය පෙබරවාරි වන 20, 21 දිනවලයි. ඒ ගැන සටහනක් තබන්න මේ තරම් පරක්කු වුණේ පසුගිය දවස් ගණන පුරාවටම අපට යෙදී තිබුණු ව්‍යාපෘති සහ විභාග හේතුවෙනුයි. පළමු වසර ශිෂ්‍ය කණ්ඩායමක් විසින් මේ කුසලානය දිනාගන්නට යෙදුණු පළමු අවස්ථාව මේකයි. ඒ නිසා මේ ජයග්‍රහණය ඉතිහාසගත එකක්! 🙂

මෙහිදී අප සමඟ තරඟ වැදුණු කණ්ඩායම් ගණන 4ක්. E/04, E/05, E/06, E/07 යන කණ්ඩායම් සියල්ල සමඟ තරඟ කොට ජයගන්නට මෙහිදී අප සමත් වුණා. තරඟාවලියේ මුල් කොටස පැවැත්වුණේ ලීග් ක්‍රමයට. එහිදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරඟ වැදුණා. අපේ මුල්ම තරඟය පැවැත්වුණේ E/07 කණ්ඩායම සමඟයි. එහි ප්‍රතිඵලය වූයේ අනපේක්ෂිත වගේම දැවැන්ත පරාජයක්. අපේ මුළු කණ්ඩායමම තරඟයට නියමිත පන්දු වාර 8 තුළ දවාගන්නට E/07 කණ්ඩායමේ සොයුරන් සමත් වුණා. එහිදී අප ලබාගත් ලකුණු 37, Cric-E ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛාව බව ලැජ්ජාවෙන් වුවත් පැවසිය යුතුයි. 😦 මේ තරඟය අවසානයේ අපේ දුර්වල ක්‍රීඩා විලාශය විස්තර විචාරක අට්ටාලයේ නොමඳ හාස්‍යයට ලක් වුණා. නමුත් තමන්ට වැරදුණු බව ඔවුන්ට පසක් වුණේ මීළඟ තරඟ 3ම අප පිට පිට ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මේ තරඟ ජයග්‍රහණය කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිටියා. ඔවුන් අතර පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ චින්තක අත්තනායක හෙවත් ‘සිඩෑන්’, ධනුෂ්ක රාජපක්ෂ හා රොෂාන් ආරියරත්නත්, ඉතා අවම ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් ඔවුන් දැඩි පීඩනයට ලක්කළ අරවින්ද වෑත්තෑවත් සිහිපත් කළ යුතුමයි. මෙම තරඟ තුනෙන් E/04 කණ්ඩායම සමඟ තරඟය එක් අතකින් විශේෂයි.

එහිදී ඔවුන් එක් අවස්ථාවක පළමුව පන්දුවට පහරදී ඕවර 7ක් තුළ ලකුණු 25 ක් ලබා එක් කඩුල්ලක් පමණක් අතැතිව දැඩි අපහසුතාවකට ලක්ව සිටියා. තරඟය පන්දුවාර 8කින් පමණක් සමන්විත වූ නිසා අප ලැබූ අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඔවුන් ලවා බිඳහෙළවන්නට අප බලාපොරොත්තු වුණා. නමුත් 8 වන පන්දු ඕවරය අවසානයේ අපට දක්නට ලැබුණේ සහමුලින්ම වෙනස් ලකුණු පුවරුවක්. ඒ අනුව ඔවුන් ලකුණු 47ක් ලබා සිටියා. ඒ දැවැන්ත පන්දු ඕවරයේ හිමිකරුවා කවුද? 😉 කෙසේ වෙතත් ඒ අවසථාවේ හුදකලා සටනක නිරත වෙමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක කුලරත්න සොයුරාත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අරවින්ද වෑත්තෑව සොයුරා පන්දුවාර දෙකක් තුළ ලකුණු දෙකක් පමණක් ලබාදී කඩුළු 2ක් දවාගත්තේ මේ තරඟයේදී බවත් සටහන් කිරීම වටිනවා.

මේ අනුව ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පළමු පරාජයේ අළු ගසා දමමින් අවසන් තරඟයට සුදුසුකම් ලැබූ අපට නැවතත් මුණගැසුණේ පළමු තරඟයේ අප පරාජය කළ E/07 කණ්ඩායමයි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් අප පන්දු ඕවර 10ක් අවසානයේ කඩුළු 4කට ලකුණු 80ක් ලබාගත්තා. මෙහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ චින්තක අත්තනායක, අවසාන මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටිමින්, ඉතා අලංකාර කවර් ඩ්‍රයිව් පහරවලින් පිටිය වර්ණවත් කරමින් ලකුණු 31කින් කණ්ඩායම ශක්තිමත් කළා.

ඉන් අනතුරුව දෙවනුව පන්දුවට පහරදුන් E/07 කණ්ඩායම ද ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වෙමින් තරඟය උද්වේගකර අවසානයක් දක්වා ගෙන ආවා. නමුත් අවසාන පන්දුවාර 3න් දෙකක් යවමින් ඉතා අවම ලකුණු ගණනක් පිරිනමමින් කඩුළු 2ක් දවාගත් චින්තක අත්තනායක නිසා E/07 කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 6ක් පසුපසින් නවතින්නට සිදු වුණා. අවසානයේ ලකුණු පුවරුව දිස් වූයේ E/07 කණ්ඩායම පන්දුවාර 10 තුළ සියලුදෙනා දැවී ලකුණු 74ක් වශයෙන්. එය අපගේ අනභිභවනීය ජග්‍රහණය සටහන් කළා. සෑම දෙනා තුළම දක්නට ලැබුණේ නිම් හිම් නැති සතුටක්. එය සැබැවින්ම කණ්ඩායමේ එකමුතුකමේත්, චින්තක පෙන්වූ විශිෂ්ට දක්ෂතාවන්හිත් ප්‍රතිමූර්තියක් බඳුයි. අවසානයේ එදින වැඩිපුරම කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූ චින්තකට තරඟාවලියේ වීරයා සම්මානය හිමි වුණා. එසේම අවසන් තරඟයේදී උඩපන්දුවක් රැකගැනීමට දැරූ උත්සාහයකදී දැඩි ආබාධයකට ලක්ව සිටියත් පන්දුවාර 2ක් යවමින් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට ඔහු ක්‍රියා කළ බව හෘදයාංගමව සිහිපත් කළ යුතුයි. ඒ සමඟම, තරඟාවලිය පුරා ඉතා උද්‍යෝගිමත්ව, එකාවන්ව තරඟ වැදුණු අප කණ්ඩායමේ එකමුතු බවත් මේ අවස්ථාවේ අමතක නොකරම බැහැ. ජය ජය E/08….

ජයග්‍රාහී E/08 කණ්ඩායම:

  • චින්තක අත්තනායක
  • රොෂාන් ආරියරත්න
  • ධනුෂ්ක රාජපක්ෂ
  • අරවින්ද වෑත්තෑව
  • ඉරූෂ පාලවත්ත
  • කල්හාර ජයසිංහ
  • ගිහාන් එදිරිසිංහ (wk)
  • චමිත රත්නායක
  • ගයාන් කෞෂල්‍ය
  • කවින්ද කරුණාධිපති
  • නිරෝෂන් යාපාරත්න
  • අශාන් ඉමන්ත බණ්ඩාර (පළමු අතිරේක ක්‍රීඩක)
  • කුෂාන් වීරසේකර (භෞතචිකිත්සක)

තරඟ දත්ත:

:: E/08 Vs. E/07 ::

E/08 : 37/10 (පන්දුවාර 7.1 )
E/07 : 38/4 (පන්දුවාර 5.3)
E/08 කණ්ඩායමට කඩුළු 6ක පරාජයක්

:: E/08 Vs. E/04 ::

E/04 : 46/7 (පන්දුවාර 8 )
ධනුෂ්ක කුලරත්න 23*
E/08 : 47/2 (පන්දුවාර 5.4)
E/08 won by 8 කණ්ඩායමට කඩුළු 8ක ජයක්

:: E/08 Vs. E/06 ::

E/06: 53/6 (පන්දුවාර 8 )
E/08: 54/2 (පන්දුවාර 6.4 )
E/08 කණ්ඩායමට කඩුළු 8ක ජයක්

:: E/08 Vs. E/05 ::

E/05: 58/8 (පන්දුවාර 8 )
E/08: 59/3 (පන්දුවාර 7.2)
E/08 කණ්ඩායමට කඩුළු 7ක ජයක්

==අවසන් මහා තරඟය==
:: E/08 Vs. E/07 ::

E/08: 80/4 (පන්දුවාර 10)
චින්තක අත්තනායක 31
ඉරූෂ පාලවත්ත 16*
E/07: 74/10 (පන්දුවාර 10)
E/08 කණ්ඩායමට ලකුණු 6ක ජයක්

තරඟාවලියේ වීරයා : චින්තක අත්තනායක (ලකුණු 91ක් කඩුළු 6ක් සමඟ උඩ පන්දු 6ක්)

ස්ථානය: රාහුල විදුහල් ක්‍රීඩාංගනය, කටුගස්තොට

දසුන්:

ජයග්‍රහණයේ සතුට

විස්තර විචාරක අට්ටාලය

තරඟය අතරතුර


අනුශූර E/07 කණ්ඩායම


ලකුණු සටහන්කරණය

තරඟාවලියේ වීරයා - චින්තක අත්තනායක

පෙබරවාරි 6, 2010

හන්තාන කඳුකරයේ ත්‍රාසජනක අත්දැකීම්

Posted in Trips tagged , , , , , at 1:03 පෙ.ව. විසින් e08creations

අද අපි ඔබට කියන්න යන්නේ අපේ තවත් වැඩක් ගැන. එනම් පහුගිය සතියෙ හන්තාන කඳුකරයේ ගියපු hike එක ගැන. කැම්පස් එන්න කලිනුත් අපි බොහෝ දෙනා හන්තානෙ ගිහිල්ලා තිබුණත් මුළු කඳුකරයම ආවරණය වන පරිදි ලොකු hike එකක් නම් කවුරුත් ගිහිල්ලා තිබුණේ නැහැ. වැඩේ තරමක් අසීරු එකක් වන බව හැමෝම දැනගෙන හිටියා. මේ ගමනෙදි අපිට මඟපෙන්නන්න ඉදිරිපත් වුණේ 2005 ශිෂ්‍ය කණ්ඩායමේ විනින්ද කීත් පියරත්න අයියා. තුන් හතර ගමනක්ම ඔහු මේ ගමන ගිහින් තිබුණු නිසා අපි කාටවත් බයක් තිබුණේ නැහැ.

ඉතින් හොඳ අභියෝගාත්මක අත්දැකීමක් ලබන අරමුණින් ගිය සතියේ බ්‍රහස්පතින්දා (26-01-2010) අපි මහනුවර නගරයට රොක් වුණා. ගමනේ ස්වභාවය ගැන විස්තර කළොත් මෙන්න මෙහෙමයි. හන්තාන නගින්න සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන මාර්ග 4ක් තිබෙනවා. අපි භාවිතා කළේ ඉන් දීර්ඝතම, වෙහෙසකරම මෙන්ම අමාරුම කියා සැළකිය හැකි සරසවිගම හරහා වැටී ඇති පාර. උදේ 8ට විතර කට්ටිය නුවරට සෙට් වුණත් අතරමඟදී සිදුවූ සුළු පමාවන් නිසා සරසවිගමට යද්දී 10 පමණ වුණා. මේ පමාව අවසානයේ අපේ ගමනට ලොකු බලපෑමක් එල්ල කරයි කියලා ඒ මොහොතේ අපි කාටවත් වැටහුණේ නැහැ. හන්තාන ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුලුණු ආශ්‍රිත ප්‍රදේශය දක්වා කඳු 5ක් අපේ ගමනට අයත් වුණා. මේ ගමනේ මුල් කඳු 3 පමණ යන තුරු යන්නට පාරක් තබා සතුන් ගමන් කිරීමෙන් සෑදුණු අඩි පාරක් වත් හමුවුණේ නැහැ. අලංකාර තේ වත්තක් මැදින් වැටී තිබුණු මුල්ම කොටසින් අනතුරුව මානා කැළයක් සහිත දැඩි බෑවුමකින් යුතු කන්දක් අපි තරණය කළා. ඇතැම් තැන් වල ආනතිය අංශක 60ක් හෝ 70ක් වත් වන්නට ඇති. එම ස්ථාන වල කෙළින් සිටගෙන ගමන් කිරීම භයානක නිසා අත් කකුල් සියල්ල බිම තබා හතරගාතයෙන් ගමන් කරන්නටත් සිදු වුණා. සුළඟ එතරම් දරුණුවට බලපෑම් නොකළත් ගමනට ඉන් සෙතක් සැළසුණේ නැහැ. සමහර ස්ථාන තනි කලු ගලින්ම සෑදී තිබූ නිසා අපිට ගිමන් හැරීමටත් සිදු වුණේ අතරින් පතර හමු වූ කුඩා ගස් සෙවණේ සියලු දෙනා එකට ගුලි වී හිඳයි. මේ වන විට අව්වත් ඉතා සැර ස්වභාවයක් ඉසිළුවා.

කොහොම කොහොම හරි දැඩි උත්සාහයකින් පසු පළමු කන්ද තරණය කරගන්න අපි සමත් වුණා. වෙච්ච මහන්සියේ නියම ප්‍රතිඵල ලැබුණේ එවිටයි. ඉතාම අලංකාර දර්ශනයන්ගෙන් සපිරි කඳු මුදුනකට අප පිවිස සිටියා. එහි අනිත් පැත්තේ වූයේ හෙල් ප්‍රපාතයක්! අඩියක් ලිස්සා ගියොත් අඩි දහස් ගණනක් පහළට ඇද වැටී අපේ කෑලිත් සොයන්නට නැති වෙනවා නිසැකයි. කඳු මුදුනේ සිරි නැරඹීමෙන් අනතුරුව අපි අපේ ගමන නැවතත් පිටත් වුණා.

දැන් අපිට තිබුණේ පළමු කන්ද මඳක් බැස දෙවන කන්දට පිවිසෙන්නට මඟක් සොයාගැනීමයි. මේ කඳු වල විශේෂත්වය වුණේ කඳු මත ඇත්තේ මානා හෝ වෙනත් තෘණ පැළෑටි වලින් නිර්මිත පරිසරයක් වුණත් කඳු දෙකක් අතර ප්‍රදේශය ඝන කැළෑවකින් වැසී තිබීමයි. කැළෑවක් කිව්වාට අපිට පිවිසීමට නියමිත අනෙක් කන්දත් දැන් අපි සිටි කන්දත් අතර වූයේ ගස් ඉතා ළඟින් එකට වැඩී තිබුණු, ශාක ස්තර වශයෙන් දක්නට ලැබුණු සුවිශේෂී පරිසර පද්ධතියක්. අපි කන්ද මඳක් බැහැලා ඇවිත් එහා කන්දට පිවිසෙන මඟ සෙව්වා. විනී අයියා මීට කලින් ආ අවස්ථාවේ ඔහුට සතුන් ගමන් කිරීමෙන් දෝ සෑදුණු, ඉතා පටු බිංගෙයක් වැනි මඟක් මෙම කැළෑ ප්‍රදේශය මඟහැරීමට උපකාරී වී තිබුණා. අපි හැමෝම මහත් වෙහෙසක් දරා මේ අවස්ථාවේ සෙව්වේ ඒ රහස් මාර්ගයයි. එහෙත් අවාසනාවකට මෙන් එවන් මාර්ගයක් අපිට සොයාගන්න ලැබුණේ නැහැ. නමුත් ඊට ආසන්න, කුඩා විවරයක් මෙන් වූ මඟක් එක් සොයුරෙකුට හමු වුණා. අවදානම බාරගෙන අපි එම මඟේ එන්නට පිටත් වුණා. නමුත් වැඩි දුරක් යන්නට මත්තෙන් මාර්ගය අවසන් වුණා. එතනින් පහළ තිබුණේ අඩි 15ක පමණ ප්‍රපාතයක්. නමුත් එතැන් සිට කුඩා අඩි පාරක් වැනි යමක් අපට දිස් වූ නිසා එම ප්‍රපාතය බැස යනවා වෙනුවට නැවත හැරී යාමට කිසිවෙකුටත් සිත දුන්නේ නැහැ. මේ අවස්ථාවේදී විනින්ද අයියා රැගෙන විත් තිබූ ශක්තිමත් කඹයක් අපේ පිහිටට පැමිණියා. එම කඹය ගසක ගැටගසා, පහළ සිට ලිහීමට හැකිවන පරිදි ගැටයක් යෙදූ අපි එකිනෙකා පහළට බැස්සා. අපේ අවාසනාව කෙතරම්ද යත් අවසාන සොයුරාත් බැසීමෙන් අනතුරුව කඹය ගැලවීමට යන විට එය ගැලවුණේ නැහැ. එය ගස් දෙබලකට සිර වී තිබුණා. අනතුරුව කඹය දිගේම ඉහළට නැගි විනින්ද අයියාට කඹය ගලවා ඉතා අවදානම් ලෙස රූටා පහළට ඒමට සිදු වුණා. අභියෝගය ජය ගැනීමෙන් සතුටට පත්වූ නමුත් අපි කබලෙන් ලිපට වැටුණු බව වැඩි වෙලාවක් යන්නට මත්තෙන් හැමෝටම තේරුණා. පහල තිබූ අඩි පාරක් නැහැ! මඳ දුරක් ගිය විට නැවතත් තිබුණේ ඉතාමත් ඝන පඳුරු වනය පමණයි. ඒ මදිවාට අප සිටි තැනට මඳක් එහායින් කලින් එකටත් වඩා දැඩි ප්‍රපාතයක් තිබූ බවට සැකයක් තිබුණා. ඒ නිගමනයට එක් හේතුවක් තමයි සුළඟ. අනික් එක තමයි අප ඕනෑවට වඩා කන්දේ පහළට පැමිණ තිබූ බව මේ වනවිට හොඳටම පසක් වී තිබුණා. විනින්ද අයියා කිවූ උමඟක් වැනි මඟ තිබුණා නම් තිබිය යුත්තේ මීට වඩා තරමක් ඉහළින් විය යුතුයි. නැතිනම් එය මෙළහකටත් ගස් වැඩී, වැසී ගොස් තිබුණා විය යුතුයි. කෙසේ හෝ වේවා කඹය ද ගලවා තිබූ නිසා නැවත උඩට නැඟීමේ මඟක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ යා යුතුයි යන නීතිය මෙතැනදී අදාළ වුණේ නැහැ! ඒ වෙනුවට උමඟක් කපාගෙන ළිඳෙන් ගොඩ යාමේ දැවැන්ත අභියෝගය අප ඉදිරියේ තිබුණා. පළපුරුදු විනින්ද අයියා නැවතත් පෙරමුණ ගත්තා. පිහියක් අතට ගෙන ඝන පඳුරු කපමින් ඔහු ඉදිරියට ඇදුණා. මේ පරිසර පද්ධතිය ඉතා සුවිශේෂී එකක්. එක් තැනකින් ඉදිරියට තනිකරම තිබුණේ අතිශයින් ඝනකම් විශාල කොළ වලින් යුතු එකම ගස් වර්ගයක්. එහි දම් පැහැති ගෙඩි වර්ගයක් තිබුණා. ඒවා විෂ දැයි අපි නොදත් බැවින් ආහාරයට ගැනීමෙන් වැළකී සිටියා. මෙම ශාක ස්තරයෙන් මහ පොළොව මුළුමනින්ම ආවරණය වී තිබුණා. සරලව කිව්වොත් අපිට ඉදිරියට ගමන් කරන්නට තිබුණේ මහපොළොවට, නොදත් උසකින්, ගස් වල අතු මතින්! මේ අතු ඇතැම් තැනක දිරා ගොස් තිබුණා. ඒ මත අඩිය තැබූ විට කැඩී පහළට වැටුණා. අතරින් පතර මතු වූ ගලක් මත අඩිය තැබූ විට එම ගල් පෙරළී ගියා. තවත් සමහර තැන් වල ඉදිරියට යාමට තැනක්ම නොතිබුණු කළ පහළට බැස බඩගාගෙන ඉදිරියට ඇදෙන්නට සිදුවුණා. මෙය අපට සිහිපත් කළේ හමුදා පුහුණුවයි. ඉංජිනේරු පීඨයට පිවිසීමෙන් අනතුරුවත් හමුදා පුහුණුව ලබන්නට තරම් අපි වාසනාවන්ත වුණා 🙂

මෙතැනින් එහාට ගමන ගැන අපට ඇත්තේ නොපැහැදිලි මතකයක්. ගස් මතින් වැටෙමින්, නැගිටිමින් අපි ගමන් කළා. මේ වනවිට වෙලාව සවස 2.30ත් පසු වී තිබුණා. කඳු 5කින් සමන්විත වුණු අපේ ගමනේ තවමත් අපි සිටියේ දෙවැනි කන්දට නැගීමට මාරාන්තික සටනක නියැලෙමින්! මේ වනවිට අපි පැයක් පමණ වනයේ අතරමං වී සිටියා. නමුත් අවසානයේදී වාසනාව අපේ පැත්තට කැරකී ආවා. ඒ වන ගහණය පසුකර තවත් මානා කැළයකට අපි පිවිසීමෙන්. මේ වනවිට දෙවැනි කන්ද මුදුන පැහැදිලිව දිස් වුණා. කලින් වනයේ අතරමං වී සිටි අවස්ථාවේ වුවත් මේ සාධකය පැහැදිලිව අපේ දිවි සුරැකුවා. මන්දයත් ඇතැම් දිනවල දැඩි මීදුමෙන් වැසී යන හන්තාන කඳුකරය එදා දීප්තිමත් හිරු එළියෙන් ආලෝකමත් වී තිබුණා. කලින් වතාවක මෙසේ අතරමං වුණු එක්තරා කණ්ඩායමක් සති ගණනක් එළියට ඒමට මඟක් සොයමින් සිටි බව අප දැන සිටියා. ඊට හේතුව මීදුම මඟින් මාර්ගය නොපෙනී යාමයි. කෙසේ වෙතත්, මීදුම නොතිබූ නිසා අපි නැගිය යුතු කඳු මුදුන, අතරින් පතර දිස් වුණා. මඟ සොයාගැනීමට ඇවැසි වූ කල ගස් මතට නැගීමෙන් හෝ යා යුතු දිශාව සොයාගැනීමට අප සමත් වුණා. අතීතයේදී නාවිකයන් අහසේ තරු මාර්ගයෙන් දිශාව සොයාගත් අයුරු මෙමගින් මොනවට පැහැදිලි වුණා. වනයෙන් එළියට එන විට අප සිටියේ දැඩි ලෙස හෙම්බත් වෙලා. අපේ මහන්සිය කියන්නට වචන ඇත්තේ නැහැ. කෙසේ හෝ අමාරුවෙන් මඳ දුරක් ගිය අපි දවල් කෑමට තුරු සෙවනක වාඩි වුණා. එය ආහාරයක් මෙන්ම හොඳ විවේකයක් ද වුණා.

කෑම ගෙන අවසාන වනවිට අපට තවත් බරපතල අනතුරක ඉව වැටුණා. ඒ තමයි වතුර! අප ගෙනා වතුර බොහෝ ප්‍රමාණයක් මේ වනවිට පානය කර අවසන්ව තිබුණා. මේ වනවිට සැබැවින්ම ඉතිරිව තිබුණේ කුඩා බෝතල් 2ක් පමණයි. මේ ප්‍රමාණය කෙසේ හෝ පරෙස්සම් කරගැනීමේ අරමුණ ඇතිව ආහාර ගැනීමට පෙර හෝ පසු හෝ කිසිම විටක අපි අත සේදුවේ නෑ! මොන අත හේදිල්ලක්ද, බොන්න වත් වතුර නැතිකොට! :O

වතුරේ අගය වටහාගැනීමට මෙවන් අවස්ථාවක්ම පැමිණිය යුතුයි…

කෑමෙන් අනතුරුව පමා නොවී අපි ගමන පිටත් වුණා. තෘණ භූමියක් මැදින් වැටී තිබුණු ප්‍රදේශය අප වේගයෙන් පසු කළා. මේ වනවිට එම ප්‍රදේශයේ කුළු හරක් ගැවසෙන ලක්ෂණ දක්නට ලැබුණා. මේ පිළිබඳ අවවාදයක් පහළ සිට එන විටම අපට ලැබී තිබුණා. එක් තැනක දෙකක, ලස්සන බලන්නට පමණක් නැවතුණු අපි දිගටම ඇවිද ආවා. කලින් තිබුණාට වඩා වෙනස් වන ගහනයක් දෙවන හා තෙවන කඳු අතර තිබුණේ. එය සාමාන්‍ය වනාන්තරයක් හා සමානයි. නමුත් තිබූ බොහෝ ගස් කටු වලි පිරී තිබුණා. එම නිසා වැරදීමකින් හෝ ගහක් අල්ලන එක භයානක කටයුත්තක් වුණා. ඇතැම් අවස්ථා වල ඉදිරියෙන් ගමන් කළ කෙනා පසෙකට කළ කටු අත්තක් පසුපසින් එන කෙනාගේ ඇඟේ පැමිණ වැදුණා. මෙවන් පරිසරයකුයි ඉතිරි කඳු කිහිපය පුරාවටම තිබුණේ. ඇතැම් ස්ථාන වල, අඩි 2ක් පමණ ළඟට යනතුරු නොපෙනෙන ඉතා භයානක ප්‍රපාත හමු වුණා. තවත් ස්ථාන වල මානා ගස් අඩි 8ක් පමණ උසට වැඩී තිබුණා. බොහෝ මානා කැළ තුළින් ගමන් ගන්නා විට අඩිය තබන තැන අපට පෙනුණේ නැහැ. ඒ නිසා ඇතැම් ස්ථාන වල ගල් පෙරළීගොස් ඇද වැටුණා. එමෙන්ම හාවුන් තැනූ ගුල් තුළට කකුල් ඇදී ගියා. මානා වලට කැපී යාමෙන් ඇතැමුන්ගේ ඇඟිලි ලේ වලින් වැසී ගියා. මේ ආකාරයට ඉතාම දැඩි බාධක මධ්‍යයේ ඉතා දීර්ඝ ගමනක් අපි පැමිණියා. මේ වනවිට විඩාව නිවාගැනීමට වතුර පොදක් වත් අපිට ඉතිරිව තිබුණේ නැහැ. අවසානයේ කට්ටියට වතුර බෙදා දීමත් සලාක ක්‍රමයට කිරීමට සිදු වුණා. එක් අයෙකුට ඒ අනුව හිමි වූයේ එක් වතුර මූඩියක් පමණයි. ඒ ප්‍රමාණය දිව තෙමාගැනීමට පමණක් සෑහුණා.

කටුසු කැළය තරණය කිරීම අපට ඉතිරිව තිබූ අවසන් අභියෝගයයි (අප සිතා සිටියේ එසේ වුණත් සැබැවින්ම එය එසේ වුණේ නැහැ). නැවතත් මුල් කන්දේ මෙන් අංශක 70ක පමණ ආනතියකින් යුතු කන්දක් වුණු මෙය ඉතා වෙහෙසකර කටයුත්තක් වුණා. ඉන් අනතුරුව ඒ මත මඳ වෙලාවක් රැඳී සිට නැවතත් අපි ගමන පටන්ගත්තා. මේ වනවිට අපේ ගමන කාලයත් සමඟ සටනක් බවට පත්ව තිබුණා. මන්ද මේ වනවිට වෙලාව හවස 6ට ආසන්න වී තිබුණා. අපි දවල් කාලයේ ගමනකට සූදානම්ව ආ නිසා විදුලි පන්දමක් වත් අතේ තිබුණේ නෑ. කෙසේ හෝ කරුවල වැටෙන්නට මත්තෙන් ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුළුණු ආසන්නයට යාම අපේ පැවැත්මට අනිවාර්ය සාධකයක් වුණා. එහි එක් බලපොරොත්තුවක් වූයේ එහි සේවය කරන පුද්ගලයෙකුගෙන් බොන්නට වතුර ඉල්ලාගැනීමයි. අවසානයේ සවස 6.15පමණ වන විට අප ඒ සමීපයට පැමිණියා. එහි සේවය කරන පුද්ගලයෙකු සොයාගත් අපි ඔහුගෙන් බීමට වතුර ඉල්ලාගත්තා. ඒ මොහොතේ එම පුද්ගලයා සැබැවින්ම අපට දෙවියෙකු වුණා. එක් වතුර බෝතලයක් රු.30/- ක් වුවත් අප සිටි තත්ත්වය අනුව ඒ මොහොතේ වතුර බෝතලයකට රු.1000/- ක් වුවත් ගෙවන්නට සූදානමින් සිටියා. සියලු දෙනා බිම වැටී තරඟයට මෙන් වතුර බීවා. ඒ මොහොතේ වතුර බෝතල් 10ක් වත් අවසන් වන්නට ඇති. අවසානයේ එම පුද්ගලයාට පින් දෙමින් අපි අපේ ගමන පිටත් වුණා.

මේ වනවිට දැඩි මීදුම් වලාවක් හන්තාන කඳු වළල්ල ආක්‍රමණය කරමින් තිබුණා. අපි පැමිණි කඳු සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී ගොස් තිබුණා. මේ අවස්ථාවේ තවත් මාරකයක් අප හඹා පැමිණෙන්නට වුණා. ඒ අඳුරයි. බලාසිටියෙදී ම හන්තාන කඳුකරය අඳුරේ ගිළුණා. නමුත් සෑම මොහොතකම අපව බේරාගැනීමට කුමක් හෝ කලින් සිදු වුණාක් මෙන් මෙවර ද අපේ පිහිටට යමක් පැමිණියා.

ඒ අන් කිසිවක් නොව හඳ එළියයි!

හඳ එළියේ අපි ඉතිරිව තිබූ සියලු වෙර වීරිය යොදා කන්ද බැස්සා. එළිය ප්‍රමාණවත් නොවුණත් අඩිය තබන්නට තැනක් සොයාගැනීමට එය ප්‍රමාණවත් වුණා. මේ වනවිට අප පත්ව සිටි දැඩි වෙහෙස කොතරම්ද යත් අපි බහින්නේ කෙසේද, කොතැනින්ද යන්න ගැන වත් කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ. “මචං අපි මේ බහින්නේ තේ වත්තක් මැදින් නේද?” කියා කෙනෙකු කියන විටයි අපි එය දැනගත්තේ. නමුත් ඒ වනවිට තේ ගස් අල්ලාගෙන කන්දෙන් අඩක් පමණ අපි බැස තිබුණා! ගල් බොරළු ගොඩවල් උඩින්, වැටි වැටී අපි ඉතිරි කොටස බැස්සා. මේ වනවිට ඈත ගමන් කරන වාහන වල එළිය අපට ඈතින් දක්නට ලැබුණා. ඒවා ළං වන්නේ කොයි මොහොතේදැයි සිතමින් අපි තවත් පහළට බැස්සා. අවසානයේ පහළට එන විට වෙලාව රාත්‍රී 7ත් පසු වී තිබුණා.
වාසනාවකට මෙන් එක් සොයුරෙකුගේ වාහනයක් පැමිණ තිබූ නිසා ගමනේ ඉතිරි කොටස අපහසුවක් වුණේ නැහැ. නමුත් දැඩි විඩාව නිවාගන්නට හැමෝටම හොඳ නින්දක් ලබන්නට ඇවැසි වුණා.

අපේ වික්‍රමයේ කතාව ඔන්න ඔහොමයි. මේ ගමනේදී අපට වාසිදායක වුණේ මීදුම නොතිබුණු එක සහ රෑ කන්ද බහිද්දි හඳ එළිය තිබුණු එකයි. ඔය දෙක අනිත් පැත්ත හැරුණා නම් අපේ ගමන බොහොම භයානක එකක් වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ ආකාරයට ත්‍රාසජනක වික්‍රමයක යෙදෙන්න හැකි වුණු එක අපට ඉතා සුවිශේෂියි. ඉදිරියටත් මෙවන් ගමන් වල යෙදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් නැවතත් මෙම ගමනේදී අපට මඟ පෙන්වා බොහෝ උදව් උපකාර කළ විනින්ද අයියාට අපේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා…

මේ තිබෙන්නේ අපේ ගමන කැමරා කාච වල සටහන් වූ අන්දමයි:

සුන්දර හන්තාන

සෞන්දර්යය...

කඳු මුදුන් මතින්

තරණය

ත්‍රාසය

සැනසුම

අභියෝගය

සොයා මං පෙත..

උත්සාහය

වින්දනය

අහ්ලාදය

ප්‍රීතිය

කණ්ඩායම් හැඟීම

ජනවාරි 8, 2010

අපේ සිරිපා වන්දනාව

Posted in Trips tagged , , , , at 10:14 ප.ව. විසින් e08creations

ආයුබෝවන් වර්ෂ 2010!! සාර්ථක නව වසරක නැවුම් බලාපොරොත්තු සමඟින් අපේ කට්ටිය ආයෙත් සෙට් වුණේ අලුත් ට්‍රිප් එකක් යන්න. මේ සැරේ අපේ ඉලක්කය වුණේ ශ්‍රීපාද අඩවිය. ට්‍රිප් එකක අදහස නිරන්තරයෙන්ම අප සිත් තුළ හටගත්තත් ඒවා නැවත නැවතත් පසුපසට ගියේ පසුගිය සමාසිකය තුළ අපි සමාජ සේවා කටයුතු කිහිපයකටම සම්බන්ධ වුණු නිසයි.

ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සහ අවට ප්‍රදේශය නැරඹීමේ අරමුණින් අපි සංවිධානය කරගත් චාරිකාව 2010 ජනවාරි 4 වැනිදාට යොදාගත්තේ ඒක අපේ නිවාඩු කාලය වුණු නිසයි. අනික සිරිපා වන්දනා සමයේ ආරම්භක දින කිහිපය නිසා ඉතා පහසුවෙන්, නිදහසේ අපේ ගමනාන්තයට ළඟ වීමේ හැකියාවක් තියෙයි කියන බලාපොරොත්තුවත් අප සිත් තුළ තිබුණා.

ජනවාරි 4 වැනිදා උදේ 7.30ට විතර අපි ඔක්කොම මහනුවර දුම්රිය ස්ථානයට එක් රොක් වෙලා උදේ 8.20 බදුල්ල දුම්රියෙන් හැටන් දක්වා ගමන ඇරඹුවා. සමහරු මෙම ගමනට සහභාගි වුණේ බොහෝඅ ඈත පළාත් වල ගම්බිම් වලට ගොස් නැවත පැමිණයි! හිටගෙන යන්න වුණත් ඒ ගමන බොහොම ප්‍රීතිමත් එකක් වුණා. අවට තිබුණු සුන්දරත්වය අපි හැමෝම ඉතා ආශාවෙන් නැරඹුවා.

කෝච්චියෙන් ගිහින් හැටන් වලට ගොඩබැහැපු අපේ ඊළඟ ඉලක්කය වුණේ මස්කෙළිය නගරය. එතන තමයි අපේ නවාතැන්පොළ වුණු මස්කෙළිය ලංකා බැංකු ශාඛා නිල නිවෙස්නය පිහිටා තිබුණේ. මෙම ස්ථානය සොයා දීමේ සම්පූර්ණ ගෞරවය අපේ අරවින්ද වෑත්තෑව සොයුරාට හිමිවිය යුතුයි. තවත් පැයක විතර ගමනකින් පස්සෙ අපි මස්කෙළියට ළඟා වෙලා දවල් ආහාරය ගත්තා. නල්ලතන්නියට යන්න තවත් කාලය තිබුණු නිසා අපි අවට සිරි නැරඹීමේ අරමුණින් මාඋස්සාකැලේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට පිටත්ව ගියා.

පැයක් හමාරක් එය නැරඹීමෙන් අනතුරුව අපි නැවතත් මස්කෙළිය බලා ආවා. අවසානයේ රාත්‍රී ආහාරයෙන් ද සප්පායම් වීමෙන් අනතුරුව (මේක නම් කාලෙකට මතක හිටින කෑමක් බව නොකියාම බැහැ. හේතුව මෙතන කියන එක අනවශ්‍යයි කියා හිතනවා 😉 ) රාත්‍රී 7.30ට විතර නල්ලතන්නිය බලා පිටත්ව ගියා.

තවත් පැයක් පමණ නල්ලතන්නිය, සමනොළ ගිර පාමුල ගතකිරීමෙන් අනතුරුව රාත්‍රී 10ට පමණ අපි සිරිපා තරණය ආරම්භ කළා. අතිශයින්ම වෙහෙසකර වුවත් ඉතා විශිෂ්ට අත්දැකීමක ආරම්භය එය බව අප දැන සිටියා. සිරිපා මළුවේ අතිශය සිසිල් පරිසරයක පැය ගණනක් රැඳී ඉන්නට අවශ්‍ය නොවුණු නිසා අපි සිරිපා කරුණා කළේ ඉතා සෙමින්. සිරිපා මළුවට අපි එන විට වෙලාව හරියටම පාන්දර 3යි. සීතල දරාගැනීම ඉතා අපහසු වුණත් අපේ උත්සාහයේ සාර්ථකත්වය නිසා ඇතිවූ ප්‍රීතිය අප උණුසුම් කළා. වරක් ශ්‍රීපාද පද්මය වැඳ පුදාගත් අපි කෙටි විවේකයක් ලැබීම පිණිස දෑස් පියාගත්ත. නැවතත් උදේ 5ට පමණ අවදි වී ඉර සේවය නැරඹීමෙන් අනතුරුව නැවතත් පහළට එන ගමන ආරම්භ කළේ උදේ උදේ 7ට පමණ.

මුලින් එතරම් නොදැනුණත් පහළට බැසීමත් දෙපා වලට ඉතා වේදනාකර කර්තව්‍යයක් වුණා. නමුත් ඒ වේදනාව නිවාලන ඖෂධය වූයේ ඉහළට නගින අවස්ථාවේ අප නොදුටු අවට පරිසරයේ සුන්දරත්වයයි. ශ්‍රී ලංකාව තුළ අප දුටු අලංකාරම දසුන් පෙළ අප දුටුවේ මේ ගමනේදී බවට අපහට කිසිදු සැකයක් වූයේ නැහැ.

උදේ 11 පමණ වන විට පහළට පැමිණි අප නැවතත් මස්කෙළිය අපේ නිවෙස්නය වෙත පැමිණියේ ඉතාමත් වෙහෙසකර වූත් ආශ්චර්යජනක වූත් ගමනකින් අනතුරුවයි. එම ස්ථානයේ මඳ වේලාවක් ගිමන් හැරීමෙන් අනතුරුව අපි මහනුවර බලා ආපසු පැමිණීමට පිටත් වුණා. මහනුවරට අප ළඟා වනවිට වේලාව සවස 6යි.

ඔන්න ඔහොමයි අපේ සිරිපා වන්දනාවේ කථාන්දරය! අප බොහෝ දෙනා ජීවිතයේ යෙදුණු විශිෂ්ටතම චාරිකාව එය බවට කිසිදු සැකයක් නැහැ. වෙහෙස, මහන්සිය, වීර්යය හා බැඳුණු ස්වභාව සෞන්දර්යය, මනස්කාන්ත පරිසරය අප සිත් ප්‍රීතියෙන් කුල්මත් කළා.

නව වසරට එය ඉතා හොඳ ආරම්භයක් වූ බව නම් නිසැකයි. ජය ශ්‍රී!

මේ තිබෙන්නේ ගමනේදී අප අත්දුටු සුන්දරත්වයෙන් බිඳක්:

ඉදිරි පිටුවට