ඔක්තෝබර් 16, 2009

අපේ වැඩ කිඩ එළිදැක්වීමේ කාලයයි මේ

Posted in Our Works tagged , , , , , at 11:34 ප.ව. විසින් e08creations

කාලයක් තිස්සෙ කිය කිය හිටපු අපේ drama එක එළිදක්වන්න දැන් නම් කාලෙ හරි. welcome එක අවසන් වෙලා මාසයකටත් වඩා කලක් ගත වුණත් මෙච්චර දවසකට ඒක අන්තර්ජාලයට එක්කරන්න නොහැකිවෙන්න හේතුව තමා අපේ කාර්යබහුලත්වය. කාර්යබහුලත්වය කොච්චරද කියනවා නම් අපිට අන්තර්ජාලයට පිවිසෙන්නත් වෙලාව මදි වෙලයි දැන් තියෙන්නෙ. ඊයෙ (16-10-09) ම්ඩ් එකත් ඉවර වෙලා හිතේ බර ටිකක් සැහැල්ලු වෙච්ච නිසා මේ වැඩේට යොදවන්න මඳ වෙලාවක් අපිට ලැබිලා. එහෙනම් දැන් හැරෙමු අපි E/08 නාට්‍යය දෙසට…

මුලින්ම අපි කතාවෙ තේමාව දෙසට සිත යොමු කරමු.

එකෝමත් එක රටක කණිෂ්ක කියලා ළමයෙක් ඉන්නවා. කණිෂ්කට වයස 17යි. එයා, උසස් පෙළ කරන ශිෂ්‍යයෙක්. ජීවිතයේ වැදගත් කඩයිමක් පනින්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් වුණාට මෙයාට ප්‍රශ්න ගොඩායි. ලොකුම ප්‍රශ්නෙ තමයි එයා කරන්න ලෑස්ති වෙලා ඉන්න විභාගෙ. පාඩම් කරන දේවල් මතක හිටින්නෙ නැතුව මොන විභාග ද නේ? මෙයාටත් වෙලා තියෙන්නෙ ඒ වැඩේම තමයි. ගෙදරින් එල්ල වෙන පීඩනයත් එක්ක මෙයාගෙ වැඩත් අවුල් වෙලා හරිම අමාරු තත්ත්වෙකට තමයි කණිෂ්ක වැටිලා ඉන්නේ. ඔන්න ඔය අතරෙ තමයි කණිෂ්කට, පූජා හම්බ වෙන්නෙ. පූජා කියන්නෙ ලස්සන ගෑණු ළමයෙක්. එයා යන්නෙත් කණිෂ්ක යන ක්ලාස් වලටමයි. ක්ලාස් එකේ දැකලා ඇතිවුණු සුන්දර හැඟීම දළුලා ගිහින් ඒක පත්වෙනවා ආදරයක් බවට. ආදරේ වුණාට වැඩක් නෑ, ඒක යථාර්ථයක් බවට පත්කරගන්න කණිෂ්කට හැකියාවක් නෑ. මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් මැද අල්ලපු අත්තත් නැතිකරගෙන, පයගහන් හිටි අත්තත් නැතිකරගන්න ලෑස්ති වෙන කණිෂ්ක හේතුකොටගෙන ශක්‍රයාගෙ පඬුපු ආසනෙත් උණු වෙනවා. හරි වැඩේ කියන්නෙ ශක්‍රයා හරියටම එදා දවසෙම ලීව් එකක් දාලා ගිහින් එයාගෙ පෞද්ගලික වැඩකට. ශක්‍රයා නැති අතරෙ පඬුපුල් ආසනේ ඉන්නෙ පුරෝහිතයා.

ශක්‍රයාගෙ රථාචාරියා, මාතලිත් එක්ක කතාවක් දාගෙන් අමෘතය පාරකුත් දාගෙන ඉන්න පුරෝහිත, මේ නහින දෙහින වෙලාවෙ කේස් එකක් ෆයිල් කළ නරයා සම්බන්ධව, ශක්‍ර දිව්‍ය රාජයා, වහා SMS පණිවුඩයක් මඟින් දැනුවත් කරනවා. කොහේ හිටියත් රාජකාරිය වෙනුවෙන් කැපවී ඉන්නා ශක්‍ර දිව්‍ය රාජයා, ලීව් එක වහා කැන්සල් කර කණිෂ්කගේ රාජකාරියට බහිනවා නමෝ විත්තියෙන්. කතාවෙ ඉතුරු හරිය තමයි ශක්‍රයා, කණිෂ්කගෙ දුකට පිහිට වෙන අන්දම. කණිෂ්කගෙ උභතෝකෝටික ප්‍රශ්න විසඳන්න ශක්‍රයාට පුලුවන් වෙයිද? නැත්තම් බැරිවෙයිද? ඒක දැනගන්න නම් ඉතින් ඔයගොල්ලන්ට කතාව බලන්නම වෙනවා. ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, ශෘ*ගාරය (නෑ නෑ, ඒක නම් නෑ , බයවෙන්න එපා 😀 ) පිරි මේ නාට්‍යය E/08 කණ්ඩායමේ ව්‍යාපෘතියක්.

අශාන් ඉමන්ත බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක් ද E/08 සිසු කැළගේ නිෂ්පාදනයක් ද වන මෙය ළඟදීම සම්මානයට පාත්‍ර වීමට නියමිතයි. ළඟදි කිව්වට ඉතින් කවදා විතර වෙයිද කියල කියන්න නම් අමාරුයි 😉 සම්මානය හම්බුවෙච්ච ගමන් ලියන්නම්කො තවත් ලිපියක් 😀

බලලා, අවසානයේ අදහසක් පළ කරලා යන්න. ඔබේ අදහස්, ගල්, මුල්, මල් E/08 කණ්ඩායම ඉහළින් අගය කරනවා. අදහස් පළකළ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.

ඉදින් එහෙනම් ආයුබෝවන්ඩ, අද දිනට සමුගන්න අවසර..!

ජය වේවා!

ප.ලි. ඇත්තටම කිව්වොත් මේක අපි හරිම කඩිමුඩියේ හදපු නාට්‍යයක්. ඒක නිසා වැරදුණු තැන් නම් ඕනෙ තරම් ඇති. නරඹනකොට ඒ ඔක්කොටම කමා කරලා නාට්‍යය නරඹන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. මේක නිෂ්පාදනය කරන්න ගිය E/08 කණ්ඩායමට අත්දැකීම් ගොඩා…ක් ලැබුණා, ජීවිතයේ කලින් කිසි දිනෙක අත් නොදුටු. ඉතින් ඒවායින් ද ප්‍රයෝජනයක් ගෙන අනාගතයේ දවසක මීටත් වඩා සාර්ථක නිර්මාණයක් කරන්න අපි සැලසුම් කරගෙන ඉන්නවා. (අපේ සැලසුම් ගැන නම් දවස් ගානක් වුණත් කියන්න දේවල් තියනවා. ඒවා ක්‍රියාවට නැංවුණායින් පස්සෙ විතරක් ප්‍රසිද්ධ කරන්නම්කො. මොකද කලින් කිව්වම අගේ නැති වෙනවා 😉 )

ආ… තවත් දෙයක්, මෙතන අපි ප්‍රසිද්ධ කරන්නෙ මුළු නාට්‍යයම නොවෙයි. ඉන් උපුටාගත් දර්ශන කීපයක් පමණයි. නමුත් කතාව ඔබට පැහැදිලි වෙයි බලනකොට. සම්පූර්ණ නාට්‍යය ඉදිරිපත් කරන්නට නොහැකි වීම ගැන නම් සමාව අයැද සිටිනවා ඔබ සැමගෙන්.

දිගාසිරි.